සිද්ධ දඹදිව සිටන් දඹරුක වැඩ වසන මම වෙමි ගරා
කියමි හඬගා සියලු සතහට වෙවුල වෙවුලා හඬ හඬා..
වුනු වැරැද්දට යක්ෂ වෙස්ගති මුහුණ දෙන්නට නොම සිතා
කෝප ගිනි මැද පුපුර පුපුරා සදහටම විඳවමි මෙමා
එදා වන මැද දුටුව පියකරු මුහුණ මතකයි සඳක් සේ
සිටියා දඹරන් රුවක් විලසට ගිලී නහමින් හිතුමතේ
බැඳුනි මා සිත නුඹේ රුව දැක මෝරමින් ආලය හදේ
නොතෙමි ඉන්නට නොහැකි තරමට පෙම් කුනාටුව සැඩඋනේ
නුඹේ උණුසුම නොලැබ ඉන්නට අහෝ මා හට බැරි උනා
උමතු ප්‍රේමය ලොවේ සොඳුරුම පහස යැයි මා සිතු නිසා
ලෙයට ලෙය හඳුනන්ට නොහැකිව රාගයෙන් මත්වී මෙමා
වෙලී සියොළඟ තුරුළු වී හිඳ වින්ද පෙම් සුව අපමනා
මුග්ධ බමුණන් කියූ බසකට ගත්තු තීරණයක් නිසා
මෙයට වගකිව යුතුය මවුපියෝ වුනු වැරැද්දට මට වඩා
මුහුණ දීමට නොහැක මින්මතු නොවේ දළ කැමරුන් මෙමා
අදත් විඳවමි ඒ වැරැද්දට දේවි මා හට වෙනු සමා..
වෙනු සමා..//